ස්ත්‍රී රත්නය

ගෙදර බුදුන් අම්මා”

මේ බෞද්ධාගමික ලෝකය ස්ත්‍රියක වන අම්මා තබන උතුම්ම ස්ථානය යි.
 
”මා හි ගංගා මා හි යමුනා”

අම්මා ම යි ගංගාව, අම්මා ම යි යමුනාව.

මේ හින්දි ගීත සාහිත්‍යය ගැහැනියක වන අම්මාට දෙන උසස් තැනයි.

ගැහැනුකමේ, ස්ත්‍රී භාවයේ මුදුන් මල්කඩ අම්මා වද්දී, ඒ ස්ත්‍රිය ම බිරිය, දියණිය හෝ සොයුරියක ලෙස අපේ ජීවිතවලට ළං වෙයි. සමස්ත ස්ත්‍රී වර්ගයා යට කී භූමිකා සතරට අයත් කළ හැකි වෙයි. මේ සියලු දෙනා වෙනුවෙන් ම භාවිත කළ හැකි තවත් හොඳ වචනයක් අපට තිබේ. ඒ වූ කලී ‘මිතුරිය යි’ මිතුරිය සතු අවියෝජනීය ගුණාංගය වන්නේ මෛත්‍රී සහගත බාවය යි. ඒ මිත්‍රත්වයේ සඳකිරණින් ඇය මුළු මහත් ලොවම නහවන බැවිනි.

”ස්ත්‍රී” යන වචනය හැරුණ කොට සංස්කෘත භාෂා සාහිත්‍යයේ ඒ අර්ථය දීම සඳහා වචන රාශියක් භාවිතය. ගෘහිණී, දයිතා, කාන්තා, වනිතා, රමණී, කමණී, ප්‍රියතමා ඉන් කිහිපයකි. මේ වචන සියල්ලම වාගේ සිංහලයෙහි ද භාවිත වෙයි.

කවියන්, ගීත රචකයන් ඇතුළු විවිධ කලාකරුවෝ මේ ස්ත්‍රිය – දයිතාව එනම් දයාබර තැනැත්තිය නොයෙක් ලෙසින් වර්ණනා කළහ. කොළඹ කවි යුගයේ සුප්‍රකට කවියකු වන මීමන ප්‍රේමතිලක ඇය සමාන කළේ අගනා මිණකටයි.

”මිණකට සදිසි අඟනක් වෙද ගෙදර අපේ

වනමල් ලෙසින් ඇගෙ ගති ගුණ වනයෙ පිපේ

මීමන, ගැහැනිය ගැන එසේ කියද්දී, එකවි යුගය ද සුවඳවත් කළ එච්.ඇම්.කුඩලිගම කවියා පැවසුවේ ඇය වූ කලී නොරිදවා විඳගත යුතු සොබාදහමේ සොඳුරුතම වස්තුවක් බව යි.

”විල මැද පිපෙන මල විල් ඉවුරෙදි ම බලා

සැනහෙන ගුණය ඇත මට හුරු පුරුදු වෙලා”

මෙතෙක් නිදසුන් කළ හැම ප්‍රකාශයක්ම සාක්ෂි දරන්නේ ස්ත්‍රිය දෙස හෙළන ලද ආදරණීය දෘෂ්ටියට යි. ඒවා, එදාටත් වඩා වැදගත් වන්නේ අදටයි. මන්ද මේ වූ කලී අන් කවරදාකටවත් වඩා ගැහැනිය අති ප්‍රබල හිංසනයට ලක් වන යුගයක් බැවිනි. පුවත්පතක් ගත් විට අපට විවිධාකාර වූ ස්ත්‍රී හිංසන පිළිබඳ ව දැනගැන්මට ලැබේ.

ඇතැම් වාර්තාකරුවන් විසින් මහත් අභිරුචියකින් එබඳු හිංසන ගැන වර්ණනාත්මක ශෛලියකින් ලියනු ද දක්නට ලැබේ. අපරාධයක්, අපරාධයක් ලෙස සඳහන් කරනු වෙනුවට ඒ අපරාධය සිදු වූ රාත්‍රි ගැන පරිසරය ගැන වර්ණනා කරමින්, පාඨක ජනතාව අපරාධයකට එරෙහි වන පිරිසක් කරනු වෙනුවට අපරාධ රසවිඳින පිරිසක් බවට පත් කිරීම අපරාධයකි. “අපරාධ” යනු වැරදි ලෙස සතුටුවීමයි. ඒ අර්ථයෙන් ගත් කල, අපරාධය සිදුකළ තැනැත්තා ද එය සිත් පොලඹවන බසකින් ලියූ තැනැත්තා ද ඒ රසවිඳින තැනැත්තා ද යන තිදෙනාම අපරාධකරුවෝ ම වෙති.

සමාජය දරුණු නම්, කර්කශ නම් හිංසාකාරී නම්, එබඳු සමාජයක් වෙනස් කිරීමෙහි ලා මුල් තැන ගත යුතු චරිතයක් වන්නේ ලේඛකයා ය.

ආදරණීය දේවල් වඩ වඩාත් අවශ්‍ය වන්නේ අනාදරණීය සමාජයකටයි. හිංසාකාරී ලෝකයක ජීවත් වන අප විසින් කළ යුතු ව ඇත්තේ, ඒ හිංසාව අඩු කිරීම සඳහා අපට කළ හැකි අල්ප දෙය වුව කිරීමය. ඒ උදෙසා ලේඛකයා භාවිත කරනු කැමැති චරිත අබිමුව සුවිසල් සාහිත්‍යයක් තිබේ. ඒ සාහිත්‍යයෙන් උකහාගත් ආදරණීය දේවල් හැකිතාක් සමාජගත කරන මෙන් සියලු ලේඛකයනට ආයාචනය කරන්නේ, දැනටමත් ඒ උතුම් මෙහෙවරෙහි නිරත වන ලේඛක සහෘදයන් වෙත අපගේ අපරිමිත ආදරය ද ගෞරවය ද පළ කරමිනි.

වරෙක මහාත්මා ගාන්ධි නම් උත්තම පුරුෂයා පැවසුවේ ස්ත්‍රිය යනු අහිංසාවේ ජීවමාන සංකේතය බව ය. ඔහු අවධාරණයෙන් කියා සිටියේ සාමය නමැති අමෘතය අවශ්‍ය ව සිටින කලහකාරී ලෝකයට සාමයේ කලාව ඉගැන්වීමේ කාර්යය පැවරී ඇත්තේ ද ඇයට ම බවයි.

”සිත්තර සිත්තම්” පළමු ලිපිය කියවා සිය අදහස් පළ කළ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහෘදයා පැවසුවේ සමන් සිත්තරා ගැහැනිය ගැන පළ කළ අදහස් සමාජගත කිරීම වෙත ද වැඩි අවධානයක් යොමු කරන ලෙසය.

මෙකී ලිපිය ලිවීමෙහි ලා ප්‍රණීත් බඳු කලණ මිතුරන්ගෙන් ලද සදූපදේශ උල්පත විය.

වරෙක ගෝත්‍රික නායකයකුගෙන් සමාජ විද්‍යාඥයෙක් මෙසේ ප්‍රශ්න කර සිටියේය.

”ඔබේ ගෝත්‍රයේ ගැහැනියක බලහත්කාර හිංසනයකට ලක් කිරීම පිළිබඳ ව භාවිත වන වචනය කියන්න.”

මේ ප්‍රශ්නය ඇසුවේ අපේ සමාජයෙන් නම් ‘දූෂණ’, ‘අතවර’, ‘බලහත්කාරය’ බඳු වචන කිහිපයක් ම පිළිතුරු වශයෙන් ලැබීමට ඉඩ තිබිණ. එහෙත් යට කී අවස්ථාවේ දී සිදුවූයේ ගෝත්‍රික නායකයා නිරුත්තර වීම යි. එහි අරුත එබඳු ක්‍රියාවක් එම සමාජයෙහි නොපැවතීමය. ඒ අනුව බලන විට ශිෂ්ට වූ ආචාරය – ශිෂ්ටාචාරය – යහපත් හැසිරිම ඇත්තේ දියුණු යැයි කියන අප ළඟ නොව නොදියුණු යැයි කියන ගෝත්‍රිකයන් වෙත ය. එහෙයින් අප විසින් වහ වහා කළ යුතු ව ඇත්තේ එබඳු ගෝත්‍රිකයන් සොයා ගොස් ඔවුන් වෙතින් “ශිෂ්ටාචාරයේ පාඩම” ඉගෙන ගැනීමයි.

අපට මේ පාඩම දැනගැන්මට ලැබුණේ සමන් සිත්තරා වෙතිනි. ඒ ඔහු සිය සරසවි ජීවිතයේ දී උගත් පාඩමකි. එසේ උගත් පාඩම්වලට අමතර ව සමාජය විෂයයෙහි ප්‍රදාන කිරීම සඳහා සමන්ට ම අනන්‍ය වූ පාඩම් ද ඔහු වෙත විය. ඔහු ලෝකයෙන් නික්ම ගියේ ඒ පාඩම් අප අතර ඉතිරි කොට තබමිනි. මේ ‘ස්ත්‍රී රත්නය’ පිළිබඳ වන ලිපිය අවසන් කිරීම සඳහා ද තෝරා ගැනෙන්නේ සමන් සිත්තරාගේ ප්‍රකාශයකි. එය ස්ත්‍රිය දෙස මෙයට වඩා ආදරණීය වූත් ගෞරවනීය වූත් ඇසකින් බැලීම වෙත මිනිසා කැඳවන ආලෝක දහරාවක් ම වේවා!

”ලෝකය දැන් ඉතා දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන බව කියතත් ඒ බව පිළිගන්නේ කෙසේද?

උගත් නූගත් භේදයකින් තොර ව පිරිමි තවමත් බොහෝ විට කතා කරන්නට රුචි කරන්නේ ස්ත්‍රීන්ගේ දෙතන හා දෙකලව ගැන ය. කතා කරමින් සිනහ වෙන්නට ය. නිරුවත් වුණු ස්ත්‍රියක විසින් අපමණ වේදනා විඳ තමන් බිහි කළ බව ඔවුනට අමතක ය.

තමන් බිහි කිරීම පිණිස ස්ත්‍රියකගේ දෙකලවා රුධිරයෙන් තෙමුණ බව ද තමන් ජීවත් කරවීම සඳහා ඇගේ දෙතනට කිරි එරුණු බව ද සිහිපත් කරන දිනයක ලෝකය දියුණු යැයි පවසන්න.

මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

Comments

Post new comment

The content of this field is kept private and will not be shown publicly.